View this site in English

එතුමාගේ දිවි පෙවත

එතුමාගේ පවුල පිළිබඳ තොරතුරු

1956-1959 කාලයේදී අමාත්‍යධූරය දැරූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් යටත් විජිත ලංකාවේ පොහොසත් හා බලවත් පෙළපතකට හිමිකම් ඇති පුද්ගලයෙකි. එතුමා ආණ්ඩුකාරවරයාගේ වාසල මහමුදලි තනතුර දැරූ ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක (කේ. සී. එම්. ජී.) සහ ප්‍රාචීන පණ්ඩිත, කිවිදු සහ ලංකා ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු වූ ශ්‍රීමත් ජේමිස් ද අල්විස් මහතාගේ (1823 - 1878) මිණිබිරියක් වූ ඩේසි ඇස්ලින් ඔබේසේකර මහත්මියගේ එකම පුත්‍රයා විය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය

සිරිමාවෝ රත්වත්තේ මෙ‍ෙනවිය 1940 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් සමග විවාහ වූවාය. එතුමිය‍ෙග් ස්වාමිපුරුෂයා 1959 දී ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට පත්වූ ඇය 1960 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වූවාය. එය මෙරට දේශපාලන ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු අවස්ථාවක් ලෙස සටහන් වේ.

සුනේත්‍රා

බණ්ඩාරනායක පවුලේ වැඩිමහල් දරුවායි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ දර්ශන විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව යන විෂයයන් හදාරා 1967 දී ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය ඇය ලබා ගත්තාය. සුනේත්‍රා දැනට රාජ්‍ය නොවන සංවිධාන‍යක් වන සුනෙර පදනමේ ප්‍රධානියාය. ආබාධිත තරුණ තරුණියන් නිර්මාණාත්මක ප්‍රසාංගික කලා කටයුතුවල යොදවා පුනරුත්ථාපනය කිරීම පදනමේ අරමුණයි.

චන්ද්‍රිකා

පවුලේ දෙවැනියා ඇයයි. පැරිස් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත දේශපාලන විද්‍යා ආයතනයෙන් දේශපාලන විද්‍යාව හා ජාත්‍යන්තර සබදතා පිළිබද ගෞරව උපාධියක් ඇය ලබාගෙන තිබේ. ශ්‍රී ලංකාවට පැමිණි පසු ක්‍රියාකාරී දේශපාලනයට එක් වූ එතුමිය 1994 දී ශ්‍රී ලංකාවේ සිව්වන විධායක ජනාධිපති ලෙස තේරී පත් විය. 1999 වසරේ යළිත් එම ධූරයට පත් එතුමිය 2005 වසර තෙක්ම එම ධූරයේ රැඳී සිටියාය. වර්තමානයේදී‍, ප්‍රජාතන්ත්‍රවාදය හා යුක්තිය සඳහා වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පදනමේ සභාපති ධූරය හොබවයි. මීට අමතරව එතුමිය ක්ලින්ටන් ගෝලීය පරිශ්‍රමයෙහි දිළිඳුකම පිටුදැකීම පිළිබඳ උපදේශක තනතුරක් හා Club de Madrid හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක්ද වන්නීය.

අනුර

ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් නවීන ඉතිහාසය හදාරා 1972 ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියක් ලබා ගැනීමට සමත් විය. 1977 වර්ෂයේදී පාර්ලිමේන්තුවට පිවිසි ඔහු විපක්ෂ නායක තනතුරට පත්විය. පසුව උසස් අධ්‍යාපන, කර්මාන්ත සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන, සංචාරක සංවර්ධන, විදේශ කටයුතු හා ජාතික උරුමයන් යන අමාත්‍යධූර දැරීය. වර්ෂයක පමණ කාලයක් ඔහු පාර්ලිමේන්තුවේ කථානායකධූරය ද දැරීය.