View this site in English

සිංහල මහා සභාව

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව 1934 වර්ෂයේදී සිංහල මහා සභාව ආරම්භ විය. මෙරට නිදහස් අරගලය උදෙසා ප්‍රබල දායකත්වයක් සැපයූ මෙම සංගමය හරහා බණ්ඩාරනායක මහතා ස්වකීය ජාතික තලයේ දේශපාලන නායකත්වය මෙරට දේශපාලන භූමිකාව තුළ ස්ථාවර කර ගැනීමට සමත් විය. ජාතික සංවර්ධනය උදෙසා ජාතික නිදහස අවශ්‍ය බවත්, ජාතික නිදහස ජයගත හැක්කේ ජාතික සමගිය තුළින් බවත්, අවබෝධ කරගත් බණ්ඩාරනායක මහතා ඒ සදහා භේද බින්න වී සිටි සිංහල ජාතිය පළමුව සමගි කොට ජාතිමමත්වය වර්ධනය කිරීමත්, ගුණධර්ම හා චරිත ශුද්ධිය වර්ධනය කිරීමත්, සමානාත්මතාවය මත මෙහෙය වූ අර්ථ සංරක්ෂණයත්, ප්‍රතිපත්තිය කර ගනිමින්, මෙම ජාතික ව්‍යාපාරය ගොඩනංවන ලදී.

ආරම්භ කිරීමෙන් අනතුරුව, දිවයින පුරා ශාඛා මට්ටමින් ව්‍යාප්ත වූ මෙම සිංහල මහා සභාව 1936, 1938 ආදී වසර වලදී පැවති සම්මේලනය හරහා වඩා සක්‍රිය භූමිකාවක් ඉදිරිපත් කළ අතර, මෙහි සාමාජිකත්වය උගත් බුද්ධිමතුන්, ව්‍යවස්ථාදායක සභිකයින් මෙන්ම සාමාන්‍ය මහජනතාව අතර ද ව්‍යාප්ත විය. සිංහල මහා සභාව 1946 දී ලංකා ජාතික සංගමය සමග සන්ධානගතව එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමට දායක වූ අතර, එම සන්ධාන ගතවීමේ ප්‍රථම අභිලාෂය වූ සෝල්බරි පාර්ලිමේන්තුව යටතේ ස්ථිරසාර ආණ්ඩුවක් ඇති කර ගැනීමේ අභිප්‍රාය හැරුණු කොට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන සෙසු අපේක්ෂාවන් ඉටු නොවිනි. මෙම තත්වය මත එක්සත් ජාතික පක්ෂ රජයේ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය බණ්ඩාරනායක මහතා සිංහල මහා සභාව මගින් ප්‍රගතිශීලී යෝජනා ගණනාවක් ආණ්ඩුවට ඉදිරිපත්කලද ඒවා ප්‍රතික්ෂේප වීමත්, 1951 දී සිංහල මහා සභාව විසින් සම්මත කර ඉදිරිපත් කළ මාදම්පේ යෝජනාද ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමත්, සමග සිංහල මහා සභාව හා එක්සත් ජාතික පක්ෂය අතර වූ සන්ධානය බිඳ වැටුණි.

එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව 1934 වර්ෂයේදී සිංහල මහා සභාව ආරම්භ විය. මෙම සංගමය ආරම්භ කිරීමට හා එය සංවිධානය වීමට බලපාන ලද හේතු සාධක එම සංගමයේ අරමුණු හා ප්‍රතිපත්ති තීරණය වීමට සෘජු ලෙසම බලපානු ලැබීය. ජාතික නිදහස් සටනේ ගාමක බලවේගයක් ලෙස ක්‍රියා කිරීමත්, සමගි සම්පන්න වීමේ අවශ්‍යතාවය සපුරා ගැනීම සදහාත්, සිංහල මහා සභාව වැනි ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය පැන නැගී ඇති බව එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා විසින් 1934 මැයි 10 දින "ලක්මිණ" පුවත්පතට ප්‍රකාශ කරනු ලැබීම, මෙම ව්‍යාපාරය ආරම්භ වීමේ මූලික අනාවරණය විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී ආගමනයෙන් මෙරට ජාතික, ආගමික පුනර්ජීවනය නැතිවී යාමත්, ඉන් අනතුරුව අනගාරික ධර්මපාල වැනි ජාතික විරුවන් අතින් එය ඉටු වීමත්, එකී කාර්යයභාරයේ වර්තමාන කොටස් කරුවන් වීමේ අවශ්‍යතාවය හා එහි වගකීමත් මෙම ලිපිය හරහා අනාවරණය කරන බණ්ඩාරනායක මහතා එමගින් සිංහලයන් ජාති, ආගම්, කුල වශයෙන් භේද බින්නව සිටීම ගැනත්, ජාතික හා ආගමික හැගීම් උද්දීපනය කිරීමේදී ගත යුතු මග ගැන මෙන්ම, භාෂා සාහිත්‍ය සහ කලාව ගැනද අවධාරණය කරයි. එම අරමුණු සලසා ගැනීම සදහා රටේ ආධ්‍යාත්මික සංවර්ධනය ඉලක්ක කර ගත් දහම් පාසල් අධ්‍යාපනය දියුණු කිරීම, පවත්නා කුල භේදය නැති කිරීම, උඩ-පාත සිංහ‍ලයන් අතර අවිශ්වාසය දුරු කිරීම, සිංහල සාහිත්‍ය කලා ප්‍රගමනය හා අර්ථ සංරක්ෂණ ප්‍රශ්නය, සමානාත්මතා මූලධර්මය මත විසදීම ආදිය උපාය මාර්ග කර ගනිමින් බණ්ඩාරනායක මහතාගේ නායකත්වය තුළින් සිංහල මහා සභාව 1934 මැයි 19 වන දින බිහි විය.

සිංහල මහා සභාව රටේ පොදු දියුණුවට වැඩ කරන අවශේෂ සංවිධාන සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමත්, සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් ආරම්භ කරමින් ජනමතය සංවර්ධනය කිරීමත්, ආණ්ඩුවේ නියෝජිත ආයතන හා නියෝජිතයන් තම ප්‍රතිපත්තිවලට එකඟ කරවීම හෝ එම ආයතනයන්ට තම නියෝජිතයින් පත් කරවීමත්, ග්‍රාමීය වශයෙන් තරුණ, කාන්තා හා ප්‍රජා කණ්ඩායම් ලෙස ඒකරාශී කිරීමත් ඉලක්ක වශයෙන් හඳුනා ගනු ලැබීය.

රටේ පොදු අභිවෘද්ධිය ඉලක්ක කර ගත් ප්‍රධාන ප්‍රතිපත්ති 03 ක් සිංහල මහා සභාව සතුවිය. ලංකා ජාතික මමත්වය කියා දෙයක් නැති බවත්, ඇත්තේ සිංහල හෝ දෙමළ මමත්වය බවත් ප්‍රකාශ කරමින් සිංහල මහා සභාව ආරම්භ කළ බණ්ඩාරනායක මහතා, තම සංවිධානයේ පළමු පරමාර්ථය මෙම ජාති මමත්වය වර්ධනය කිරීම බව අවධාරණය කරන ලදී. එහි දෙවෙනි පරමාර්ථය වූයේ ආගම, ධර්මානුකූල ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් ගුණධර්ම හා චරිත ශුද්ධිය වර්ධනය කර ගැනීමයි. එහි තුන්වන ප්‍රතිපත්තිය වූයේ අර්ථ සංරක්ෂණයයි. එහිදී ආහාර හා ඇඳුම් අතින් රට ස්වයංපෝෂිත කිරීම අපේක්ෂා කරන ලදී. 

උක්ත පරමාර්ථ මුදුන් පමුණුවා ගනිමින් දේශපාලන හා අර්ථ සංරක්ෂණය අතින්ද, ජාතික හැගීම් හා සමාජ සිරිත් අතින්ද, ආගමික කෘත්‍ය අතින්ද, අධ්‍යාපනය අතින්ද යන සෑම අන්දමේ කටයුතු වලින් සිංහල ජාතියේ අභිවෘද්ධිය උදෙසා වැඩ කිරීමත්, ‍එ‍ෙස් ක්‍රියාකිරීමේදී අනෙකුත් ජාතීන්ගේ හා පක්ෂවල විශ්වාසයත්, මිත්‍රත්වයත්, සහයෝගයත් දිනා ගැනීම මෙම සභාවේ අරමුණ වූ අතර එහි පුළුල් පරමාර්ථය වූයේ පළමුව භේදබින්නව සිටි සිංහල ජාතිය එක්කොට පසුව වෙනත් ජාතීන්ද එකමුතුකොට අවසාන ලෙස සමගිව ජාතික නිදහසත්, සංවර්ධනයත් ලඟා කර ගැනීමයි.

1934 දී ආරම්භ කළ සිංහල මහා සභාව ක්‍රමානුකූලව රට පුරා ශාඛා ඇති කර ගනිමින් ව්‍යාප්ත වන්නට විය. එහි ප්‍රථම ශාඛාව පමුණුව පිහිට වූ අතර ‍සේනපුර, මාතර, තංගල්ල, හොරණ ආදී ප්‍ර‍ෙද්ශවල ආරම්භක වසරේදීම ශාඛා ආරම්භ කරන ලදී. වැඩිකල් නොගොස් රටපුරා සිංහල මහා සභා ශාඛා සමිති 350 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවන ලදී. මෙසේ ප්‍රාදේශීයව ව්‍යාප්ත වීමත් සමග එහි බලය ක්‍රමානුකූලව වර්ධනය වූ අතර එම ප්‍රමාණාත්මක වර්ධනයට සමාන්තරව එහි සාමාජික පිරිසේ ගුණාත්මක වර්ධනයක්ද දක්නට ලැබුණි. ඒ බව එහි සාමාජිකත්වයට පත් පිරිසේ ස්වභාවය හා තත්වය අනුව පැහැදිලි වේ. විශේෂයෙන් සිංහල සාහිත්‍යවේදීන් හා කවියන් මෙන්ම භික්ෂූන් වහන්සේද ඊට අයත් විය. එසේම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්ද සිංහල මහා සභාව නියෝජනය කරන ලදී. මෙම සියළු පිරිස් කළමණාකරණය කරමින් ඊට නායකත්වය සපයනු ලැබුයේ බණ්ඩාරනායක මහතා විසිනි.

1934 දී ආරම්භ කළ සිංහල මහා සභාව, දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සමයේ ක්‍රියාත්මක නොවුවද, 1936 නොවැම්බර් මස කොළඹ ‍ෙබෟද්ධ මන්දිරයේ පැවති සංස්කෘතික රැස්වීමෙන් පසු යළි පුනර්ජීවයක් ලැබීය. දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා සිංහල මහා සභාවට අයත් මන්ත්‍රීවරු 16 දෙනෙකු තේරී පත් විය.

1938 වර්ෂයේදී සිංහල මහා සභා සංවත්සරය මැල්කම් ප‍ාරේ, දුම්රිය ශාලාවේදී පවත්වන ලදී. කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවති සිංහල මහා සභා සම්මේලනයේදී සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ සැසිවාරයක් මෙන්ම ආගම දියුණු කිරීම සඳහාද සැසිවාර කැඳවන ලදී. මේ අනුව සිංහල මහා සභාව ක්‍රමානුකූලව රටපුරා ව්‍යාප්ත වෙමින් වර්ධනය කරා ගමන් කළ අතර, එහි පූර්ණ මෙහෙයවීම බණ්ඩාරනායක මහතාගේ මාර්ගෝපදේශකත්වය යටතේ සිදු විය.

සිංහල මහා සභාව හා එහි කටයුතු වර්ධනයට සාපේක්ෂව, සිංහල මහා සභාවේ ජාතික නිදහස් ව්‍යාපාරයට සහයෝගය සදහාත්, එහි ජාතික හා දේශික ප්‍රයත්න වලට ආධාර අනුබල දීම සදහාත්, මුලදී "ස්වදේශ මිත්‍රයා" අනතුරුව "සිංහල මහා සභාව සහ ස්වදේශ මිත්‍රයා" ආදී ප්‍රවෘත්ති පත්‍රද, අනතුරුව ඒ වෙනුව‍ට "සිංහල බලය" පුවත්පතද, ඊට සමගාමීව "ද නේෂන්" නම් ඉංග්‍රීසි පුවත්පතද, 1951 දී "සිංහලේ" නම් පුවත්පත ද ක්‍රියාත්මක විය. ඒ හරහා සිංහල මහා සභාව හා එහි මතවාදය මහජනතාව වෙත සමීප කරවීමට බණ්ඩාරනායක මහතා උපක්‍රමශීලී විය.

ඒ අනුව බණ්ඩාරනායක මහතාගේ ජාතික ව්‍යාපාරය ආශ්‍රිත ක්‍රියාකාරකම් උදෙසා ප්‍රබල වේදිකාවක් නිර්මාණය කිරීමට සිංහල මහා සභාවට හැකියාව ලැබුණි.

ජාතික නිදහස් සටන ජයගැනීම සදහා දේශමාමක බලවේගවල සමගිය අපෙaක්ෂා කළ අතර, එය සිංහල මහා සභාවේ පිළිගත් උපාය මාර්ගයක්ද විය. ඒ තත්වය මත ඒ වන විට සිංහල මහා සභාවට සමගාමීව ක්‍රියාත්මක වූ ජාතික ව්‍යාපාරයක් වූ බණ්ඩාරනායක මහතාද සාමාජිකත්වය දරන ලද ලංකා ජාතික සංගමය සමග සන්ධානගතවීමේ සාකච්ඡාවක් 1940 අප්‍රේල් මස පැවතියද, එය සාර්ථක වන්නේ ඉන් වසර 06 කට පසුවය. (1932 වසරේදී ලංකා ජාතික සංගමයේ සභාපතිධුරය දරා ඇත්තේද බණ්ඩාරනායක මහතා වන අතර එතුමන් විසින් ලංකා ජාතික සංගමයේ අත්පොත 1919-1928 නම් ලංකා ජාතික සංගමයේ ඉතිහාසය අලලා පොතක්ද රචනා කොට තිබේ)

සෝල්බරි කොමිසමේ යෝජනා හඳුන්වා දෙන අවධිය වන විට රාජ්‍ය මන්ත්‍රණ සභා බහුතරය අයත් වූයේ බණ්ඩාරනායක මහතා විසින් නායකත්වය දුන් සිංහල මහා සභාවටය. කෙසේ වෙතත් 1946 සැප්තැම්බර් 06 දින ලංකා ජාතික සංගමය, සිංහල මහා සභාව සමග මුස්ලිම් හා ද්‍රවිඩ කණ්ඩායම් කිහිපයක් එක්ව සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ මහමැතිවරණයකට එළඹීමේ හා ජාතික ලෙස එක්සත් වීමේ අපේක්ෂාව සහිතව, එක්සත් ජාතික පක්ෂය නමැති නව දේශපාලන සංවිධානයක් පිහිටුවා ගනු ලැබීය.

සිංහල මහා සභාව, එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේ ආරම්භක රැස්වීමට සහභාගී වූයේ ප්‍රබල ජාතික සංවිධානයක් ලෙසය. කෙසේ ‍වෙතත් එක්සත් ජාතික පක්ෂය හා සිංහල මහා සභාව එක්වීම සම්බන්ධව ඇතැම් බුද්ධිමතුන්ගේ විරෝධතා පැන නැගි අතර, බණ්ඩාරනායක මහතා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කරනු ලැබුයේ, “ජාතික නිදහස උදෙසාත්, බ්‍රිතාන්‍යයන් හඳුන්වාදෙන පාර්ලිමේන්තු ක්‍රමය අනුව ඒකාබද්ධ පක්ෂයක් ඇතිකරලීම උදෙසාත් එසේ ක්‍රියා කළ බවයි.” එක්සත් ජාතික පක්ෂයේ සභාපතිධූරයට ඩී.එස් සේනානායක මහතාව යෝජනා කරනු ලැබුයේ බණ්ඩාරනායක මහතා විසින් වන අතර, ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් අනතුරුව ඩී.එස්. සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. සිංහල මහා සභාවේ සභාපතිවරයා වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍යධුරයට පත් විය.

මේ අනුව සිංහල මහා සභාව එක්සත් ජාතික පක්ෂයට එක්වූ ප්‍රථම අපේක්ෂාව වූ ස්ථිරසාර ආණ්ඩුවක් ඇති කිරීමට හැකි විය. නමුත් එමගින් අපේක්ෂා කළ සෙසු අපේක්ෂා ඉටු නොවන බව බණ්ඩාරනායක මහතා අවබෝධ කරගනු ලැබුවේ, 1948-1951 දක්වා වසර 03 තිස්සේ අමාත්‍ය මණ්ඩලය තුළ ඒ වෙනුවෙන් කරන ලද අරගල වලින් ප්‍රයෝජනයක් නොවූ නිසාය. ඒ හේතුව නිසා ජාතික භාෂා රාජ්‍ය භාෂා බවට පත් කිරීම, පරිහානියට පත්ව තිබූ බුද්ධාගම පුනරුද්දීප්තියකට පත් කිරීම, ආයුර්වේදය නගා සිටුවීම, මත්පැන් උවදුරින් ජනතාව නිදහස් කර ගැනීම හා මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ඇති කර ගැනීම ආදී ‍යෝජනා කිහිපයක් ඩී.එස්. සේනානායක රජයට සිංහල මහා සභාව විසින් ප්‍රසිද්ධියේම ඉදිරිපත් කරන ලදී. නමුත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ආණ්ඩුව වෙතින් නොවීය. එම තත්වය මත බණ්ඩාරනායක මහතා අවධාරණය කළේ, තම සිංහල මහා සභාව එක්සත් ජාතික පක්ෂයට එක්වූයේ එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ෂයක් බවට සංවර්ධනය ‍ෙව් යැයි බලාපොරොත්තු ඇතිව බවයි. නමුත් එය සාර්ථක නොවූ බවද එතුමා අවධාරණය කරන ලදී.

බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුතු සිංහල මහා සභාව විසින් 1951 ජූලි 09 වන දින එම සභාවේ මාදම්පේ සම්මේලනයේදී ඒකඡන්දයෙන් සම්මත කර ගත් යෝජනා මාලාවක්, පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ඉදිරිපත් කරන ලදි. (මාදම්පේ යෝජනා)

සිංහල මහා සභාව මෙම යෝජනා ඩී.එස්. සේනානායක මහතා වෙත ඉදිරිපත් කළ අතර, එය පිළිගැනීමට ඔහු අකමැති විය. එම නිසා 1951 ජූලි 12 දින අයවැය අවස්ථාවේදී බණ්ඩාරනායක මහතා වසර 04 ක් තිස්සේ තමන් දරන ලද සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍යධූරයෙන් හා සභානායකධූරයෙන් ඉල්ලා අස්වී විරුද්ධ පක්ෂය වෙත පැමිණියේය.

සිංහල මහා සභාව ක්‍රමානුකූලව ජනප්‍රියත්වයට පත්වූයේ එවකට පැවති ඵෙතිහාසික වූද, ජාතික හා සාමාජික වූද, සාධක පදනම් කර ගනිමිනි. කෙසේ වෙතත් මෙම සංවිධානයට, හා එහි ක්‍රියාකාරිත්වයට ප්‍රබල විවේචනද විවිධ අංශවලින් එල්ලවිය. බණ්ඩාරනායක මහතා සිංහල මහා සභාවේ සභාපතිත්වය දරණ අතරේදීම, ලංකා ජාතික සංගමයේ කටයුතුවලද නිරත වෙමින් සම්පූර්ණ ලෙස ප්‍රතිවිරුද්ධ දේශපාලන මණ්ඩල දෙකක සාමාජිකත්වය එකවරම දැරීම ගැන විවේචන එල්ලවිය. එසේම, සිංහල මහා සභාව පිහිටුවීමෙන් ලංකාවේ සිටින විවිධ ජාතීන් අතර අනවශ්‍ය මතවාදයක් ගොඩනගන්නක් වන බව "සිංහල බෞද්ධයා" ආදී පුවත්පත් හරහා විවේචනයට පත් විය. ඒ හැරුණුකොට සිංහල මහා සභාව පිහිටුවීමෙන් බණ්ඩාරනායක මහතා දේශපාලන නායකත්වයක් (ප්‍රතිරුපයක්) ලබා ගැනීමට අපේක්ෂා කරන්නේද යන්න විවේචනාත්මක දෘෂ්ඨියෙන් යුතුව ඉදිරිපත් කරන ලදි. ඊට පිළිතුරු දුන් බණ්ඩානායක මහතා එවැනි පටු අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත්, තමාට වඩා සුදුස්සෙකු ඉදිරිපත් වූ විට ඔහුට නායකත්වය පැවරීමට සූදානම් බවත් ප්‍රකාශ කරන ලදී. එසේම සිංහල මහා සභාව අනුගමනය කරන්නේ ආර්ථික බලයෙන් මහජන බලය අල්ලා ගන්නා ෆැසිස්ට් ක්‍රමයද, මහජන බලයෙන් ආර්ථික බලය අල්ලා ගන්නා සමාජවාදයද, ආදී ලෙසට චෝදනාත්මක ප්‍රශ්නයක් නැගිණි. එහිදී ඊට ප්‍රතිචාර ලෙස බණ්ඩාරනායක මහතා ප්‍රක‍ාශ‍ කළේ සිංහල මහා සභාවේ පරමාර්ථය අපට යෝග්‍ය, අපට උචිත ක්‍රමයක් ගොඩනැගීම විනා උක්ත බටහිර ක්‍රමය අනුගමනය නොවන බවත්, එය රටේ අභිවෘද්ධිය සඳහා හේතු වන ත්‍රිවිධ ක්‍රියාමාර්ග වූ (1) ජාතිමමත්වය වර්ධනය (2) ගුණ ධර්ම හා චරිත ශුද්ධිය වර්ධනය (3) අර්ථ සංරක්ෂණය යන ත්‍රිවිධ පිළිවෙත බවයි.