View this site in English

රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස (1947-1951)

සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ ස්ථාපනය කරන ලද පාර්ලිමේන්තුව සදහා වූ ප්‍රථම මහ මැතිවරණය 1947 වර්ෂයේදී පවත්වන ලදී. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අත්තනගල්ල ආසනය වෙනුවෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත්වුයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙසය. එම මහ මැතිවරණයේදී බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිවාදි අපේක්ෂකයාට ලබාගත හැකි වුයේ ඡන්ද 4,609 පමණක් වන අතර, වැඩි ඡන්ද 26,852 කින් ආසනය ජයග්‍රහණය කල බණ්ඩාරනායක මහතා ඡන්ද 31,463 ක් ලබා ගනු ලැබීය. මහ මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ සභාපති ඩී.එස්. සේනානායක මහතා අගමැතිවරයා වශයෙන් පත්වූ අතර, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය පදවියට පත්විය.

මේ අතර, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත කිරීමට ග්ලෝස්ටර් ආදිපාදවරයා පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තුව විවෘත කරමින් ආදිපාදවරයා පැවැත්වු කථාවට ලංකා ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු කථාව පැවැත්වීමේ ‍ෙගෟරවය හා වරප්‍රසාදය බණ්ඩාරනායක මහතාට හිමිවිය.

සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් බණ්ඩාරනායක මහතා කරනු ලැබු සේවය මෙරට සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට හේතු වූ බව කීම අතිශෝක්තියක් නොවීය. D D T මගින් දිවයිනේ මැලේරියා වසංගතය මුළුමණින්ම නැති කිරීම, වියානා විශේෂඥයන් ගෙන්වීම, “කම්ස්ටන්” කොමිසම පත් කිරීම, රිජ්වේ ආර්යා රෝහල වැනි ආරෝග්‍යශාලා සංවර්ධනය කිරීම එම සේවාවන් අතර ප්‍රමුඛ වේ. එසේම දේශීය වෛද්‍ය ක්‍රමයේ සංවර්ධනය උදෙසාද බණ්ඩාරනායක මහතාගෙන් සැලකිය යුතු සේවයක් ඉටුවිය. 1948 දී ආයුර්වේද පනත සකස් කොට දේශීය වෛද්‍යවරු රජයේ ලියාපදිංචි කිරීමට විධිවිධාන සලසා ආයුර්වේද වෛද්‍ය සහතික පිළිගැනීමට කටයුතු යෙදීම, ආයුර්වේද විද්‍යාලය සංවර්ධනය කිරීම, පිටිසර ප්‍රදේශවල පවා නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා පිහිටුවීම බණ්ඩාරනායක මහතාගේ සේවාවන් ගණයට ගතහැකිය. දේශීය වෛද්‍ය ක්‍රමය වර්තමාන ක්‍රමයට ගැලපෙන ලෙස සකස් කරවීම බණ්ඩාරනායක මහතාගේ අභිප්‍රාය වු අතර, ආයුර්වේද ‍ඖෂධ වර්ග ක්‍රම පර්යේෂණයට මුල පිරීම ඒ යටතේ සිදුවිය. පසුකාලීනව “බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනය” රජය මගින් පිහිටුවනු ලැබුයේ එකී පරමාර්ථ සාර්ථක කරවා ගනු පිණිසය. 1950 දී ජිනීවා නගරයේ පැවැති ජගත් සෞඛ්‍ය සම්මේලනයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ලංකාව නියෝජනය කළ බණ්ඩාරනායක මහතා එම සංවිධානයේ උප සභාපතිවරයා වශයෙන්ද, අග්නිදිග ආසියා අංශයේ සභාපතිවරයා වශයෙන්ද, පත්විය. එම සම්මේලන වාරයේ මහා කාරක සභා රැස්වීමේ මුලසුන දැරීමටද බණ්ඩාරනායක මහතා සමත්විය. ඒ හැරුණු කොට ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ සභාපතිවරයා වශයෙන්ද සේවය කරනු ලැබීය.

නිදහස් ශ්‍රී ලංකා‍ෙව් ප්‍රථම පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්ෂයේ සිටි දක්ෂ කථිකයෙකු වු බණ්ඩාරනායක මහතා මෙරට ව්‍යවස්ථාදායක ඉතිහාසයේ ප්‍රථම සිංහල කථාව පැවැත්වීමේ ගෞරවයද දිනා ගත්තේය. එය 1948 ජුලි 28 දින පළාත් පාලන හා සෞඛ්‍ය ඇමතිවරයා හා සභානායකවරයා ලෙස බණ්ඩාරනායක මහතා විසින් 1948 - 1949 අයවැය ලේඛණය පිළිබඳ විවාදයේදී සිදු කරන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පදවිය දරමින්, රජයේ නියෝජ්‍ය නායකයා ලෙසද ක්‍රියාකළ බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය දෙසට නැඹුරු කිරීමට උත්සාහ කළේය. එය ඵල රහිත වු අතර, එම තත්වය තුළ 1946 දී සිංහල මහා සභාව එක්සත් ජාතික පක්ෂයට ඒකරාශි කිරීමේදී අපේක්ෂා කළ අරමුණු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තුලින් ඉටු නොවන බව ඒ සමග එතුමාට අවබෝධ විය. 1948 සිට 1951 දක්වා වසර 03 ක් තිස්සේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අමාත්‍ය මණ්ඩලය තුළ කරන ලද අරගල වල ප්‍රයෝජනයක් නොවීම එම තත්වය අවබෝධ කර ගැනීමට පහසු විය. මේ තත්වය තුළ ජාතික භාෂා රාජ්‍ය භාෂා බවට පත්කිරීම, පරිහානියට පත්ව තිබු බුද්ධාගම පුනරුද්දීප්තියකට පත්කිරීම, ආයුර්වේදය නගා සිටුවීම, මත්පැන් උවදුරින් ජනතාව නිදහස් කර ගැනීම, ආසියාවේ හා මැද පෙරදිග පිහිටි රාජ්‍ය සමග මිත්‍ර සබඳතා ඇති කර ගැනීම හා මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ඇති කර ගැනීම ආදී යෝජනා කිහිපයක් ඩී.එස්.සේනානායක රජයට සිංහල මහා සභාව විසින් ප්‍රසිද්ධියේම ඉදිරිපත් කරන ලදී. නමුත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ආණ්ඩුව වෙතින් නොවීය. මෙම තත්වය දිගින් දිගටම උග්‍රවීමත් බණ්ඩාරනායක මහතා හා සිංහල මහා සභාව අපේක්ෂා කළ සමාජ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට අපෙ‍ාහොසත් වීමත් යන හේතු මත සිංහල මහා සභාව විසින් 1951 ජුලි 09 වන දින එම සභාවේ මාදම්පේ සම්මේලනයේදී ඒකඡන්දයෙන් සම්මත කරගත් යෝජනා මාලාවක් පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට ඉදිරිපත් කරන ලදී. (මාදම්පේ යෝජනා) සිංහල මහා සභාව විසින් මෙම යෝජනා ඩී.එස්. සේනානායක මහතා වෙත ඉදිරිපත් කළ අතර, එය පිළිගැනීමට ඔහු අකමැති විය. එම නිසා 1951 ජුලි 12 වන දින අයවැය අවස්ථාවේදී බණ්ඩාරනායක මහතා වසර 04 ක් තිස්සේ තමන් දරන ලද සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධූරයෙන් හා සභානායක ධූරයෙන් ඉල්ලා අස්වී විරුද්ධ පක්ෂය වෙත පැමිණියේය.